Owen Jones - වෙස් ගත් මිනිසුන් стр 5.

Шрифт
Фон

ඔවුන් නැඟිට හැකි ඉක්මනින් ඔහුගේ ඇඳ පසුකරමින් පහළට ගියෝය.

“අම්මේ, ඔයා ඊයේ රෑ තාත්තාව දැක්කද?” ඩෙන් ඇසීය. “එයාගේ ඇස්වලයි සමේ දීප්තියයි කාමරය එලිය කරා නමුත් ගොඩාක්ම එයාගේ ඇස් නේද? ඉස්සර ඒවා අපේ වගේ සුදුයි කලුයි නමුත් දැන් රතුයි රෝසයි… ඒ ලේ නිසා කියලා මම හිතනවා.”

“මම හරියටම දන්නේ නැහැ, නමුත් මම හිතන්නේ ඔයා හරි කියලයි. ඔයා සහෝදරිය එක්ක ගිගින් තව ලේ ටිකකුයි කිරි ටිකකුයි ගේනවා නම් හොඳයි. ඔයාට මතකද ඔයාගේ නැන්දා ලේ ගත්තු විදිහ?”

“ඔව්, අම්මේ, ඒත් මම වෙනත් එළුවෙකුගෙන් ගන්නම්, මොකද ඊයේ කෙනාට සනීප වෙන්න දෙන්න ඕනේ නේද?”

“ඔව්, හොඳ අදහසක් ඩෙන්. ලේ ගන්න සෑම දවසකම වෙනස් එළුවෙකු පාවිච්චි කරන්න, ඒ අතර ඩින්ට පුළුවන් සාමාන්‍ය විදිහට කිරි දෙවීම කරගෙන යන්න. නමුත් දැනට, එළුවන්ගෙන් ගන්න කිරි සියල්ලම ඔබේ තාත්තට, හරිද? එයාට ඒවා අපට වඩා ඕනේ වෙනවා, අනික මහා රෑ එයාව බඩගින්නේ තියන්නත් බැහැනේ, එහෙම නේද? ”

“ඔව් අම්මේ, අනිවාර්යෙන්ම ඔව්! ඊයේ රෑ නිදාගන්න මට සෑහෙන වෙලාවක් ගියා. මම හරිම බයෙන් හිටියේ තාත්තා මහා රෑ නැගිටලා කන්න මොනවා හරි නැත්නම් කන්න කාවහරි හොයයි කියලා”

“ඔයා දැන් ඒ වගේ දේවල් ගැන කරදර වෙන්න එපා ඩෙන්. මම ඔයාට වඩා තාත්තට කිට්ටුවෙන් ඉන්නේ, ඒ නිසා එයා එහෙම දෙයක් කරනවානම් මට තමයි, නමුත් එයාගේ ඇඳේ ලේ වැගිරෙන ගෝනියක් වගේ හමක් දැක්කොත් එලියට දුවන්න. ඒවගේම කවදා හරි උදේක අපේ මදුරු දැල පිටිපස්සේ ඉඳන් රතු ඇස් හතරක් ඔයා දැක්කත්.”

“හොදයි අම්මේ! මම ඉක්මනටම ලේ අරගෙන එන්නම්. ඩින් කොහෙද? ”

“මම දන්නේ නැහැ, සමහර වෙලාවට එයා දැනටමත් කිරි දොවන්න පටන් අරන් ඇති. ඔයා වැඩේ කරගෙන යන්න, මම යතුරුපැදියෙන් ඩා නැන්දාව එක්කන් එන්නම් - මම හිතන්නේ අපට ඔයාගේ තාත්තා ගැන තව උදවු ඕනේ එයාගෙන්. ඔයයි සහෝදරියයි තාත්තාව බලන්න යන්න ඉස්සර වෙලා මම ආයේ එනකන් ඉන්න, හරිද?”

“ඔව්, අම්මේ, මට දෙසැරයක් ඒ ගැන කියන්න ඕනේ නැහැ, නමුත් එයා මෙහි ආවොත් අපි මොකද කරන්නේ?”

“මම හිතන්නේ නැහැ එයා එහෙම එයි කියලා… මම ඇඳෙන් නැගිටින කොට එයා හොඳටම නිදි, නමුත් වැඩි වේලාවක් යන්නේ නැතුව අපි එනවා. එයා නැගිටිනවා නම්, එයාට සුබ උදෑසනක් කියලා ඔයාලව සිප ගන්න ඉඩ දෙන්න එපා.”

මිනිත්තු දහයකට පසු වැන් ඩා සමග ආපසු පැමිණියාය. ඩා ඇයගේ මේසයේ වාඩි වී සිටියේ හෙන්ග්ගේ නිවසේ කෙනෙකුගේ පැමිණීම අනිවාර්යෙන් බලාපොරොත්තු වෙමින්ය. ඔවුන් ආපසු පැමිනෙන විට, හෙන්ග් පහළට පැමිණ නොතිබුන අතර, ඩින් කිරි එකතු කර අවසන් කොටත් ඩෙන් රුධිරය සූදානම් කරගෙනද සිටියෝය.

“හොඳයි,” ඩා පැවසුවාය, “මම කියන්නේ එළු කිරි හා ලේ 50-50 ප්‍රමාණයකට, බැසිල් තේ හැන්දක්, කොත්තමල්ලි භාගයක් සහ මෙන්න මේකත් එකතු කරලා දෙන්න කියලයි. ඒක හොඳට කලවම් කරන්න. එයාට මේකෙන් උදේට ලීටර් භාගයක් දෙන්න, ඇඳට යන්න පෙරත් ඒ විදිහටම දෙන්න. දැනට ඒක ඇතිවෙයි. ඔහ්, එයාට කොයි වෙලාවකවත් සුදුළූණු දෙන්න එපා, එය වැම්පයර්වරුන්ට ඉතා නරකයි! අපි දැන් ගිහින් එයාව බලමු.”

“අපි උඩට යන්න ඉස්සෙල්ලා, නැන්දා ඩා, මම ඔයාට කියන්න ඕනේ, ඊයේ රෑ වැඩි කාලයක් එයා ගත කළේ ඇඳේ කෙළින් ඉඳගෙන, සුදුමැලි සමක් එක්ක දීප්තිමත්ව දිලිසෙන රතු ඉංගිරියාවක් තියන රෝස පැහැති ඇස් එක්ක. ඔහ්, එයා අපට කතා කරපුවාම! ඔහ්, මගේ බුදුන්! මම කවදාවත් ඒ වගේ දෙයක් අහලා නැහැ. එයා කියුවේ ‘පවුලේ සැමට, සුබ සන්ධ්‍යාවක්’ එතරම් අමුතු, ගැඹුරු කටහඬකින් … එය ඇත්තටම බයානකයි.”

“ඒකට කමක් නෑ දැන් … අපි ගිහින් එයාව බලමු.”

ඔවුන් කිරි සහ රුධීර මිශ්‍රණය සමඟ උඩුමහලට ගොස් කාමරයට ඇතුළු වූහ. සියලුම ජනේල වසා තිබූ බැවින් ඇතුළත අඳුරු විය. වැන් යළිත් පිටතට ගොස්, ඉටිපන්දමක් ගෙන, නූලකින් අසල එල්ලා තිබූ ලයිටරයක් මගින් එය පත්තු කොට නැවත කාමරයට ඇතුළු වූයේ ඩා සමග එක්වීමට ය. ඒ අතරතුර ඩා හෙන්ග් නිදා සිටි ඇඳ අසලට සමීප වූවාය.

ඉටිපන්දම් එළියෙන් අලුත් දෙයක් දිස් නොවූ නිසා කාන්තාවන් දෙදෙනා මදුරු දැල ඔසවා බැඳ ඇඳේ දෙපස වාඩි වූහ. වැන් ආවරණ ඉවත් කල අතර, ඔහු නිරුවතින්, උඩුබැලි අතට, දෑත් කුරුසියේ ජේසුස් වහන්සේ සිටියාක් මෙන් දිගු කොට, ඔහුගේ රතු පැහැති දෑස් විවෘත කොට සිටියේය. එලෙසම කුඩා ඉරි දෙකක් ඔහුගේ මුඛය වටාද දිස්විය.

වැන්, ඇගේ රෝගියා ගැන අධ්‍යයනය කරමින් සිටි ඩා දෙස ප්‍රශ්නාර්ථ ස්වභාවයෙන් බැලුවාය. ඇය ඔහුගේ නළල මත අත තැබූ අතර ඔහුගේ උෂ්ණත්වයේ සාමාන්‍ය වූ අතර ඇය ඒ ගැන පුදුම නොවීය.

“අද ඔයාට කොහොමද, හෙන්ග්?” ඔහුගේ බිරිඳ ඇසුවාය.

“බඩගිනියි… තිබහක් නැහැ,” ඔහු පැවසුවේ, කන්දක් මත සිට කඩා වැටෙන ගල් වල හඬ මෙන් ය.

“හරි, මගේ ආදරණීයයා, එහෙනම් වාඩි වෙන්න. අපි ඔයාට තවත් සුන්දර මිල්ක්ෂේක් එකක් ගෙනත් තියෙනවා.”

ඔවුන් දෙදෙනා ඔහුගේ කොට්ට නැවත සකස් කර, කෙළින් ඉඳගෙන සිටීමට සලස්වා ඔහුව බ්ලැන්කට්ටුවකින් ආවරණය කලෝය.

“මෙය පානය කරන්න, මගේ ආදරය, ඒක ඔයා ඊයේ ගොඩක් කැමති වුන රසයි.”

ඩා ඉන් ඉවල්පයක් වීදුරුවකට වත් කර බීමට බටයක්ද දැමුවාය. හෙන්ග් කොළ පැහැති පැලෑටි සහිත රෝස පැහැති දියර වීදුරු දෙකක් පානය කළ අතර එයින් ඔහු ප්‍රාණවත් විය. ඔහු කෙළින් ඉඳගෙන පළමු වරට කාමරය දකින්නාක් මෙන් වටපිට බැලීය.

“ඔයා ඒකට කැමතිද, හෙන්ග්? ඩා ඇහුවාය. “අපි එනකොට හිටියාට වඩා දැන් ඔයා බොහෝ ප්‍රාණවත්. අද පහළ තට්ටුවට එන්න පුළුවන් කියලා ඔයාට හිතෙනවද? හිරු එළිය ඔයාට හොඳක් වෙයි… ඔයා ටිකක් සුදුමැලි වෙලා… ඔයාට ගේ ඇතුලේ ඉඳලා පුරුද්දක් නැහැ නේද?”

ඇය විදේශීය භාෂාවක් කතා කරන ආකාරයට හෙන්ග් ඇය දෙස බැලුවේය. පසුව ඔහුගේ බිරිඳ දෙස බැලීය.

“ඔයාට වැසිකිළියට යන්න ඕනෙද, හෙන්ග්? ටික වෙලාවකින් නොගිය නිසා, ඔයාගේ පල්ලැහැ කොටස හොදින් නේද? ඔයාට දැන් වැසිකිළියට යන්න ඕනෙද? නැත්නම් මම ඔයාට බාල්දියක් ගෙනෙන්නද?”

“ඔව්, හොඳ අදහසක්, මට පහළ තට්ටුවේ වැසිකිළියට යාමට ඕනේ, ඒත් ඉස්සරවෙලා තවත් මිල්ක්ෂේක්.”

ඔහු කොපමණ ප්‍රමාණයක් ගත යුතුදැයි කාන්තාවන් දෙදෙනාම නොදැන සිටි හෙයින්, ඔහුට අවශ්‍ය ප්‍රමාණයට පානය කිරීමට ඔවුහු ඉඩ දුන් අතර හෙන්ග් මුළු ලීටරයම අවසන් කළේය.

ඩා නැවත වාඩි වී නිරීක්ෂණය කළ අතර වැන් ඔහුට ඇඳුම් ඇඳීමට උදව් කලාය. මිල්ක්ෂේක් ඇඟ තුල ක්‍රියාත්මක වන විට හෙන්ග් වඩාත් ක්‍රියාකාරී විය.

“එහෙනම් එන්න, අපි ඇඳුම් ඇඳගෙන පහළට යමු.”

ගැහැනුන් දෙදෙනා, වෙව්ලන මිනිසාගේ එක් අත බැගින් අල්ලාගෙන ඔහුට නැගිටීමට උදවු කළෝය. ඔහු ඇවිද්දේ හරියට රෝද බකල් ගැසූ බයිසිකලයක් පරිදිය. ඔවුන් ඔහුව තරප්පු පෙළ අසලට ගෙන ආ විට දීප්තිමත් ආලෝකය නිසා ඔහු මඳක් හැකිලුනු අතර, අඳුරු කාමරයක දින එකහමාරක් ගත කිරීමෙන් පසුව ඕනෑම කෙනෙකුට එසේ විය හැකිය. ඩෙන් සහ ඩින් තම පියා, නැන්දාගේ සහ බිරිඳගේ සහාය ඇතිව වෙරි වූ කෙනෙකු මෙන් පඩි පෙළෙන් බසිනු බලා සිටියහ.

ඔහු එතරම් දුර්වල හා වෙනස් පෙනුමක් ඇති බව දුටු ඔවුන් භීතියට පත් විය. හෙන්ග් සිහින් මිනිසෙකු වුවද දැන් ඔහු වැහැරී, හිම මෙන් සුදුමැලිවී ඇස් වෙනුවට රතු පැහැති කොට්ටම්බා ඇට සහිත පුද්ගලයෙකු විය. ඔහු පහලට බැස, මේසය අල්ලාගෙන තදින් හුස්ම ගත්තේය.

“ඩෙන් ඔයා ගාව තවමත් අර පරණ අව් කණ්ණාඩි දෙක තියනවාද ? මම හිතන්නේ ඇස් ටිකක් සංවේදී නිසා, ඔයාගේ තාත්තාට අද ඒවා ඕනේ.”

“ඔයාට හෙන්ග්ව තනියම වැසිකිළියට ගෙනියන්න පුලුවන්ද, වැන්, නැත්නම් ඩෙන්ගේ උදවුව ඔයාට ඕනෙද?”

“නෑ, මම හිතන්නේ මට තනියම පුළුවන්.”

ඇය ඔහුව ඉවතට ගෙන ගිය අතර, හෙන්ග් ඔහුගේ නිදහස් අත භාවිතා කරමින් ඔහුගේ දෑස් ආරක්ෂා කර ගත්තේය. මිනිත්තු පහළොවකට පසු ඔවුන් නැවත ඔහුව මේසයෙහි අසුන් ගැන්වූ විට, ඔහු එම ප්‍රයත්නයෙන් වෙහෙසට පත් වූ බවක් පෙනෙන්නට තිබුණි.

“ඩින්, උඩට ඉක්මනට ගිහින් රෙද්දකුයි කොට්ට කිහිපයකුයි ගෙන්න, කරුණාකරලා, තාත්තා අලුත් වාතය සහ හිරු එළිය ලබා ගැනීමට අද මෙතැන විවේක ගන්නවා. එයා ජීවිතයේ වැඩි දවසක් ගේ ඇතුලේ ගත කරලා නැහැ, ඒ නිසා ශරීරය ඒකට පුරුදු වෙලා නැහැ. බලන්න එයාගේ තත්වය දිහා…”

හෙන්ග් එක් කථිකයෙකුගේ සිට තවත් කථිකයෙකු දෙස බලමින් සිටියද කෙරුනාවූ සංවාදය වටහා ගත් බවක් නොපෙනුණි. ඔවුන් ඔහුව ඇඳ ඇතිරිලි සමඟ සැපපහසු අන්දමින් තැබූ අතර ඩෙන් අවුරුදු දහයකට පමණ පෙර ඉතා ඇලුම් කල තද කළු පැහැති අව් කණ්ණාඩි යුගලයද ගෙනැවිත් දුන්නේය.

එහි ප්‍රතිඵලය වූයේ, අව් කණ්ණාඩි පැළඳ සුදු රෙද්දකින් වැසූ වහලයේ කණුවකට වාරු දී සිටි කුරුල්ලෙකු ලෙස හෙන්ග්ව දිස්වීමයි.

“හොඳයි, දරුවෙනි, මම හිතනවා ඔයාලා ගිහින් තාත්තට තවත් මිල්ක්ෂේක් ටිකක් සූදානම් කළා නම් හොඳයි කියලා. ඔහු අද ගොඩක් බඩගින්නේ ඉන්නවා කියලා පේනවා. ඒක හොඳ ලකුණක්. අපි හරි දේ කරනවා කියලා එකෙන් පේනවා.”

“ඔයාට අද හොඳට දැනෙනවා, පෝ, එහෙම නේද?”

ඔවුන් සියල්ලන්ම ඔහුගේ ප්‍රතිචාරය එනතෙක් බලා සිටි අතර ඔහු බකමූණෙකු මෙන් ඔලුව වැනුවේය. ඩෙන් සහ ඩින් හිනාවෙමින් පිටත්ව ගියේ, මේසය මත දැන් සිටින සත්වයා පැය විසිහතරකට පෙර තම පියා නේද කියා සමාන කිරීමට අපහසුවෙනි.

“ඩා නැන්දා, ඔයා හිතනවද මම අද හවසට හෙන්ග්ට මොනවා හරි උයන්න ඕන කියලා?”

“එයා ඒක කනවානම්, එයාට හානියක් නැහැ, නමුත් ඒක මිල්ක්ෂේක් වලට ආදේශකයක් නොවෙයි.”

“හෙන්ග්, ඔයාට පස්සේ අපිත් එක්ක කන්න මොනවා හරි ඕනෙද?”

හෙන්ග් ඔහුගේ හිස දෙපැත්තට හරවමින් බිරිඳ දෙස බලා සිටියේය.

“ඔයා අද රෑ මොනවද උයන්නේ, වැන්?” ඩා ඇසුවාය.

“කුකුළු මස් හරි ඌරු මස් හරි…එයා කැමති ඕනෑම දෙයක්.”

හෙන්ග් තව දුරටත් කතා කරන ගැහැනුන් දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලුවේ, එම භාෂාව කථා නොකරන රටක ජීවත් වන කෙනෙකු ලෙසිනි.

“ඇයි එයාගෙන් අහන්නේ නැත්තේ? එයා මෝඩයෙක් වෙලා නැහැනේ, මම හිතනවා එහෙම වෙලා නැහැ කියලා.”

“ඔයාට අද සවස කන්න මොනවද ඕනේ, හෙන්ග්, ඌරු මස්ද, කුකුළු මස්ද?”

ඔහු තත්පර කිහිපයක් ඇය දෙස බලා මෙසේ පැවසීය.

“ළමයා…”

“මොන එක්කෙනාද? කොහොම උනත් හෙන්ග්, ඔයාට දරුවන් කන්න බැහැ… ඒක වැරදි දෙයක්.”

“අපේ ළමයින් නෙමෙයි… එළු ළමයින්… අපිට ටික දෙනක් හිටියා නේද?” හෙන්ග් ඇසීය.

“ඔව්, අපට තවමත් ටික දෙනක් ඉන්නවා, නමුත් මම සිතුවේ අපි එයාලව රැළට එකතු කරන්න තියා ගනියි කියලා.”

“එක ළමයෙක් විතරයි.”

“ආහ්, ඔව්, හොඳයි, හෙන්ග්, ඔයා අසනීපව සිටින නිසා, මම අද රෑට ඔයාට ළමයෙකු කපලා උයන්නම්. අපි ටික ඌරු මස් කන්නම්.”

“මට ඒක ඕනේ තුනීවට, පුළුස්සලා, නමුත් තුනපහ දාලා නෙමෙයි, වැන්. මට මස්, නියම රතු මස් ටිකක් කන්න හරිම ගිජු කමක් තියනවා.”

තම පියාට තවම තමන්ව අනුභව කිරීමට කිසිදු අදහසක් නොමැති බව දැනගැනීම දරුවන්ට මහත් සහනයක් විය.

ඔහුගේ රාත්‍රී ආහාරය එනතෙක් බලා සිටී හෙන්ග් නින්දට ගොස් ඇති බව පෙනෙන්නට තිබූ නිසා, ඩෙන් තම මවගෙන් විමසුවේ කවදා හෝ තම පියාට ඔවුන්ව අනුභව කිරීමට අවශ්‍යතාවයක් ඇතිවේද යන්නයි.

“ඔහ්, අපි එහෙම හිතන්න හොඳ නැහැ, ඩෙන්, අපි එයාගේ රුචිය තෘප්තිමත් කර ගත්තොත් ප්‍රශ්නයක් නැහැ, නමුත් රුචි මොනවටද කියලා අපි තාමත් දන්නේ නැහැ.”

“ඩා නැන්දා, හෙන්ග්ගේ තත්වය ගැන ඔයා සිතන්නේ මොකක්ද?”

“මම හිතන්නේ එය සිත් ඇදගන්නා සුළුයි… ඇත්තෙන්ම ඉතා සිත් ඇද ගන්නා සුළුයි. ඊයේ, හෙන්ග් මරණයේ දොරට තට්ටු කරමින් සිටපු බව ඔයාට පෙනෙන්න ඇති, නමුත් දැන් ඔහු පැයෙන් පැයට වඩ වඩා ක්‍රියාශීලී වෙමින් ඉන්නවා, නමුත් එයා අපි හැමෝම හොඳින් දැනගෙන සිටිය හා ආදරය කළ හෙන්ග් විදිහට පෙනෙන්නේ නැහැ.”

“මෙම අලුත් හෙන්ග් මොන වගේද කියා අපට පස්සේ දැනගන්න ලැබෙයි, එහෙම නැත්නම් මේ අලුත් ආහාර වේලට පුරුදු වෙලා නැවත ලේ වර්ධනය වුනාම සමහරවිට පරණ කෙනා මතුවෙයි.”

“ඔබේ අනුමානය මගේ තරම් හොඳ වෙන්නේ නැති වෙන්න පුළුවන්, නමුත් මේ කාරණය මට අලුත් බවත්, ඒ අනුව මම ක්‍රියා කරන බවත් මම පිලිගන්නවා. මගේ අධ්‍යාත්මික මිතුරන්ගේ යෝජනා කිහිපයක් තිබුනා, ඒත් එයාලගෙන් එක්කෙනක් කියුවා හෙන්ග්ව මරා දමන්න එතකොට එයාට අලුත් ජීවිතයක් ආරම්භ කරන්න පුළුවන් කියලා.”

“ඔයා ඒ යෝජනාව ගැන සිතන්නේ මොකක්ද, වැන්?”

“එර්.., අවංකව කීවොත්, ඒක තරමක් දරුණු පියවරක් කියලා මම හිතනවා, නැද්ද ඩා නැන්දා?”

“ඔව්, මම ඔයත් එක්ක එකඟ වෙනවා, ඒ නිසයි මම ඒක යෝජනා නොකළේ, නමුත් දේවල් සුමටව සිදුවෙන්නේ නැත්නම් ඒක අපිට තියන විකල්පයක්.”

මෙම සංවාදය පුරාම හෙන්ග් නිදා සිටින බවක් පෙනෙන්නට තිබුණත් කාන්තාවන් එය පරීක්ෂා කර බැලීමට ගියේ නැත.

“ඔයා හිතනවද එයා දුක් විඳිනවා කියලා, ඩා නැන්දා?”

“එයා සාමකාමීව ඉන්නවා කියලා තමයි පෙනෙන්නේ, එහෙම නෙමෙයිද? එයා දැන් ආයෙත් කතා කරනවා ඒත් කිසිම අපහසුතාවයක් ගැන කියලා නැහැනේ, මම ඔයා නම් මම එයාගේ ශාරීරික තත්වය ගැන ඕනෑවට වඩා කරදර වෙන්නේ නැහැ, නමුත් ඔයා අනිත් හැමෝටම වඩා එයා ගැන දන්න නිසා ඕනෙම මානසික වෙනසක් දැක්කම මට කියන්න, අපිට ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන්.”

“හරි, ඩා නැන්දා, මම ඒක කරන්නම්. බලන්න, ඔයාට වෙනත් වැඩ කටයුතු තියන නිසා අපි ඔයාව තවත් තියාගන්න කැමති නැහැ. ළමයින් නම් හරි පුදුමාකාරයි - එයාලා අපේ සියලු වැඩ භාරගෙන තියන නිසා මට හෙන්ග් සමඟ වාඩි වී ඉන්න පුළුවන්, ඒත් ඔයාව නැවත ඇරලවන්න ඕනෙනම් මට ඒක පිළිවෙල කරන්න පුළුවන්. ඔයාගේ උදව්වට අපි හැමෝම ඔයාට ස්තුතිවන්ත වෙමු, ඔයා නැතුව හෙන්ග් මිය යන්න තිබුනා කියලා අපි හොඳින් දන්නවා. අපට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තියනවානම්, ඔයාට ඒක කියන්න විතරයි අවශ්‍ය.”

“ඔව්, ස්තූතියි, වැන්, සමහර විට මම පැය කිහිපයක් ගෙදරට යන්න ඕනේ, නමුත් මම කැමතියි හෙන්ග් ඔහුගේ ළමයාගේ කෑම කනවා දකින්න. ඒ නිසා මම අද සවස ඔයාලා එක්ක ඌරු මස් කන්න ඉන්නම්, ඒක සතුටුදායක දෙයක් වෙයි.”

“ගෙවීම සම්බන්ධයෙන්, දැනට ඒ ගැන කරදර වෙන්න එපා. හෙන්ග් මගේ ප්‍රියතම ඥාති පුත්‍රයා වන නිසා ඔයාලගේ කිසිවෙකුට කිසිම දෙයක් වෙනවා දකින්න මම කැමති නැහැ. ඒවගේම මොනවා හරි දෙයක් වෙන එක වලක්වන්න මගේ බලයෙන් උපරිම දේ කරන්නත් මම ලෑස්තියි.”

“මට ගෙදරට ඇවිදගෙන යන්න පුළුවන්, ආයෙත් ඇවිදගෙන එන්නත් පුළුවන්… ඔයාලා කෑම කන්න ඉන්නේ කීයටද?”

“වෙනදා වගේම හතත් හතත් තිහත් අතර, ඔයාගේ පැමිණීම අපි බලා ඉන්නවා.”

“හරි, මම දැන් යනවා, ඔයාව හතට හමුවෙන්නම්. දැනට බායි.”

“බායි, නැන්දා, ඔයාගේ සියලු උදව් වලට නැවතත් ස්තූතියි.”

ඩා පිටව ගිය පසු, තම ස්වාමිපුරුෂයා සමඟ තනිව සිටීම වැන්ට නුහුරු දෙයක් විය. ඩෙන් එළුවන්ව දිය පහර වෙත ගෙන ගොස් සිටි අතර ඩින් පවුලේ එළවළු වගා කෙරූ බිම් කැබැල්ලෙහි වැඩ කරමින් සිටියාය. තම මව සමඟ රැළේ දුවමින් සිටි එළු පැටවෙකු අද දින මරා දැමිය යුතු බව ඩෙන්ට පැවසීමට වැන්ට අවශ්‍ය වූ නමුත් හෙන්ග්ව තනි කර යාමට ඇය මැලි වූවාය. යා හැකි එකම තැනැත්තා ඩින් වූ බැවින් සුපුරුදු ලෙස දිවා ආහාරය සඳහා ඩින් නැවත පැමිණෙනු ඇතැයි ඇය බලාපොරොත්තු වූවාය. එවිට හෙන්ග් හට කරදරයකින් තොරව තම ආහාරය ලැබෙනු ඇතැයි වැන් තරයේ විශ්වාස කළාය.

Ваша оценка очень важна

0
Шрифт
Фон

Помогите Вашим друзьям узнать о библиотеке

Скачать книгу

Если нет возможности читать онлайн, скачайте книгу файлом для электронной книжки и читайте офлайн.

fb2.zip txt txt.zip rtf.zip a4.pdf a6.pdf mobi.prc epub ios.epub fb3

Популярные книги автора