Amy Blankenship - සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක) стр 3.

Шрифт
Фон

ඔහු තම සාක්කුවට අත දමා කුඩා කරපටිය ගෙන එහි තිබූ අස්ථියක හැඩැති ලෝහ ඇමුණුම දෙස බැලුවේය. ඔහු පවුලේ නම දැන සිටි නමුත් එහි ලිපිනය තවදුරටත් වලංගු නොවීය… වසර ගණනාවක් පුරාවට නොතිබුණි. අවසානයේදී ඔහු පරිගණකයක් ක්‍රියා කරවීමට ඉගෙන ගත් විට, ඔහු ඔවුන් ගැන සොයා බැලූ නමුත් දැරියගේ දෙමාපියන් මිය ගොස් ඇති බවත් නිවස විකුණා දමා ඇති බවත් දැනගත්තේය. ඔහුව නිදහස් කළ තැනැත්තා, තමා විශ්වාස කළ ආකාරයට ඔවුන්ගේ දියණිය, කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වී තිබිණි.

කේන් තම සිගරට්ටුව විසි කර එය වම් පාදයෙන් පොඩිකර දැමුවේය. ලොස් ඇන්ජලීස් වෙත ආපසු පැමිණි වහාම ඔහු මලාකිට අයත්ව තිබූ සහ ඔහු ජීවත් වූ සමාජ ශාලාවට ගොස් සොයා බැලු අතර ඔහුගේ දරුවන් එය විකුණා දමා නව ලිපිනයක පදිංචිවී ඇතිබව දැනගත්තේය. ඔවුන්ගේ නව ස්ථානය, වරෙක අතහැර දමා තිබූ ගබඩාවක් මිස වෙන කිසිවක් නොවුන අතර ජගුවර්වරුන් මෑතකදී එය ප්‍රතිසංස්කරණය කර කාලයට ගැලපෙන ආකාරයට රාත්‍රී සමාජ ශාලාවක් බවට පත් කර තිබුණි. මලාකිගේ දරුවන් දැන් එම ආයතනය පවත්වාගෙන යති.

මලාකී තම පළමු බිරිඳට ආදරය කෙරූ අන්දමට ඔහු නැවතත් විවාහ වීමට තම මනස සාදා ගත්තේ කෙසේදැයි කල්පනා කරමින් ඔහු තම හිස දෙපසට වැනුවේය. ඇය ඔහුගේ ආත්ම සහකාරිය වූ අතර මාරුවන්නන් ඔවුන්ගේ ලිංගික රුචියන් නිසා ප්‍රසිද්ධ වුවද, ඔවුන්ගේ ආත්ම සහකරු හෝ සහකාරිය මුණගැසුණු පසු තවත් කෙනෙකුට ආදරය කිරීම අසීරු විය.

කේන් ඒ පිළිබඳව සොයා බැලූවිට, ඔහු දැනගත්තේ මලාකීගේ නව බිරිඳ ඔහුට දාව දරුවන් හතර දෙනෙකුට උපත ලබාදී ඇති බවත්, පසුව ඔවුන්ගේ බාල පුත් නික් ගේ දරු ප්‍රසූතියේදී මිය ගිය බවත් ය.

තමන් පොලව තුල සිටින විට ඝෝෂාව ඇසුණු රාත්‍රියේදී මලාකී මියගොස් ඇති බව ඔහු දැනසිටි නමුත්, කේන්ට තවමත් ඔහුගේ ඇතුළාන්තයෙහි කටුවකින් අනින්නාක්මෙන් වේදනා දුන් පළිගැනීමේ අවශ්‍යතාවය දැනුනි. සෑම වැම්පයර්වරයෙකුම පාහේ අන්ධකාරයෙන් උපත ලබන අතර සමහර විට සින් ඔහුගේ නපුරු සහෝදර සහෝදරියන්ට වඩා වෙනස් වීම ගැන සිතූ ආකාරය වැරදි විය. අවුරුදු තිහක්වූ වධ හිංසා කාලය තුළදී ඔහුගේ මනස ක්‍රියාකාරී වී නොමැති නිසා ඔහුට සැලකිය යුතු හානියක් සිදු වී ඇතැයි යන්න අතිශයෝක්තියක් නොවේ. ඔහුගේ සිත තවමත් තිබුනේ මලාකී ඔහුව වළලා දැමූ අඳුරු ස්ථානයේය.

කේන් දැනසිටි ආකාරයට මුලින්ම රුධිරය සෙලවූයේ ජගුවර් වරුන්ය. ඔහු දැන් ආපසු පැමිණියේ ඔහුගේ ගෞරවය කාරුණිකව… මලාකීගේ දරුවන්ගෙන් පටන් ගෙන මාරුවන්නන්ගේ සමස්ත සංහතියටම පෙන්වීමටය. ඔහ්, නමුත් ඔහුට එතැනින් නැවතීමට අදහසක් නැත. ඊළඟට ඔහුව නොකළ වරදකට හසුකළ අනිත් මාරුවන්නාගේ දරුවන්… නතානියෙල් විල්ඩර්ගේ දරුවන්.

ඔහුට රුධිරය ලබා ගැනීම සඳහා අනුගාමිකයන් නිර්මාණය කිරීම දුෂ්කර නොවීය. අභ්‍යන්තර නගරයේ තිබූ ගොතික් භූගත දර්ශනය ගැන කේන් තවමත් මවිතයට පත්ව සිටියේය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සිහින මැව්වේ ඔහු කෙසේ විය යුතුද යන්න ගැන පමණි ... ගොත් ගෝත්‍රිකයෙකු වෙනුවට සැබෑ වැම්පයර් කෙනෙකු විය යුතුය.

ඔහුට කළ යුතුව තිබුණේ එකෙකු තෝරා ඉන්පසු ඔහුගේ ඒ ආත්මය රහිත අනුගාමිකයාව අතහැරීම පමණි. ඔහු කණ්ඩායමේ වඩාත්ම භයානක තැනැත්තා තෝරාගෙන තිබිණි… දැනටමත් අන්ධකාරයට ඔහුගේ ආත්මය අහිමි වී ඇති ලෙස පෙනෙන්නට තිබූ තැනැත්තා. මිනිසෙකු ලෙස මානසික අස්ථාවරභාවය, ආවේගශීලී හැසිරීම් පෙන්වමින් කටයුතු කළ රැව්න්... තම ගොතික් ගෝත්‍රයෙන් නෙරපා හරින ලද, ලේ සඳහා සැබෑ අවශ්‍යතාවයක් ඇතිවීමට බොහෝ වේලාවකට පෙර සිටම ඒ ගැන කුසගින්නෙන් සිටින පුද්ගලයා.

ද්‍රෝහී ක්‍රියාවන් කරන්නාවූ, පාවා දෙන්නාවූ මාරුවන්නන් ගැන කේන් මෙතෙක් පැවසූ එකම පුද්ගලයා රැව්න්ය. ඔහු රැව්න්ට ඒ දේවල් කීවේ මන්ද කියා ඔහු නොදැන සිටියේය ... සමහර විට කම්මැලිකමට විය හැකියි.

කේන් විසින් මෙම තක්කඩියාව නගරයට නිදහස් කළේය. රාත්‍රියේ දරුවෙකු ලෙස ඉපදීමට පෙර රැව්න් ලෝකය සමඟ කෝප වී සිටි අතර කේන් දැන් එම කෝපය පිටකිරීම සඳහා දොරක් විවර කරදී තිබුණි. කේන්ගේ නාමයෙන් පළිගැනීම සඳහා රැව්න් එය භාරගෙන තිබූ අතර ආත්මයක් නැති වැම්පයර් ඔහුගේ නව හැකියාවන් උපරිම ලෙස භාවිතා කළේය.

මලාකිගේ පවුලේ සෙසු තැනැත්තන්ව වැට්ටවීම සඳහා වූ ඔහුගේ සැලැස්මට එය හොඳින් ගැලපුන හෙයින් රැව්න්ට කතා කොට එම කාර්යයෙන් ඔහුව ඉවත් කිරීම ගැන කතා කිරීමට ඔහු උත්සාහ නොකළේය. ඔහු රැව්න්ගෙන් මාරුවන්නන් ආරක්ෂා කරන්නේ ඇයි? ඔහු කී උපරිම දෙය නම් දරුවාට පෝෂණය වීමට මිනිසුන් මරා දැමිය යුතු නැති බවත්, ඔහුට අවශ්‍ය නැතිනම් කිසිඳු හානියක් සිදු නොකරන ලෙසත් පැවසීමයි. ඒ වෙනුවට මරණයට පත් කිරීමට රැව්න් තෝරාගෙන තිබීම ඔහුගේ වරදක් නොවේ.

කේන් මැදිහත්වූ එකම අවස්ථාව වූයේ රැව්න් තම පළමු ඝාතනය සිදුකල අවස්ථාවයි. මිනිසුන්ට පහසුවෙන් පෙනෙන සේ වැම්පයර්වරයෙකු ලේ බිවු සලකුණ සමඟ ඔහුව අතහැර යාමට පෙර කේන් රැව්න්ව නැවැත්වීය. ඔහුගේ ආත්මාරක්‍ෂාව තුළ මුල් බැසගෙන තිබූ ඔහුගේ කාරුණික රහස රැව්න් සමඟ බෙදා ගැනීමට ඔහුට අමතක වී තිබුණි. කේන් පසුව රැව්න්ට කියාදුන්නේ දත් ලකුණු හරහා කපා එය කෘෘර මිනීමැරුමක් ලෙස පෙන්වන්නේ කෙසේද යන්නයි.

බලධාරීන්ට සොයා ගැනීම සඳහා සඳ රැඟුම අසල තමන්ගේ ගොදුරු බවට පත්වූවන් තැබීමට රැව්න් කටයුතු කර තිබිණි. ඇත්තෙන්ම එය නියම සැලසුමක් විය. බොහෝ වැම්පයර්වරුන් සහජයෙන්ම දුෂ්ට වූ බැවින් කේන් ඔහුගේ නොමැරී සිටි ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ මිනීමරුවන්ට ලඟා විය හැකි පරිදිය. මෙම පිරිමි ළමයා ඝාතනය කරන ආකාරය ඔහුගේ වර්ගයට ස්වාභාවයෙන් ලැබුණු දෙයක් ලෙස පෙනුණි.

කෙටි කාලයක් තුලදී සිදුවුනාවූ මේ මිනීමැරුම් මාලාව දැකීමට සින් අවදියෙන් සිටියා නම්, රැව්න් මරා දැමීමට හෝ මිනීවළට බැඳ තැබීම මගින් ඔහු ලෝකය දුකින් මුදවාගන්නට ඉඩ තිබුණි. දැන් කේන්ද එවැනි දඬුවමක් අත්විඳ ඇති හෙයින්, ඔහු සිතුවේ ඉක්මන් මරණයක් තෝරා ගැනීම සුදුසුය කියාය.

පලවාහැරීමට පෙර, ඔහු තවත් වැම්පයර් කෙනෙකු වූ මයිකල් සමඟ මිත්‍රව සිටියේය. ඔවුන් දෙදෙනාටම මතක තබා ගැනීමට නොහැකි හෝ මතකයක් අවශ්‍ය වීමට වඩා වැඩි කාලයක් ඔවුන් එකට මිත්‍රව සිටියහ. ඔවුන් දෙදෙනාටම ලේ ගලක් තෑගි වශයෙන් ලැබුනේ ඔවුන්ගේ ආත්මය ඔවුන් සමග රඳවාගෙන සිටි නිසාය ... ඔවුන් සමගම මයිකල්ගේ සහෝදර ඩේමන්.

මයිකල් හොඳ මනුෂ්‍යයෙක් විය ... ඔවුන් පවසන ලෙස තවමත් දේවදූතයින්ගේ පක්ෂයේ සිටින කෙනෙක්, නමුත් ඕපාදුප මගින් ඔහු දැනගත්තේ ඩේමන් අඳුරු පැතිකඩක් වර්ධනය කර එයට තම සහෝදරයා ගෙන් පලිගන්නා බවයි. සමහර විට ඔහුගේ මෙහි ඇති වැඩ අවසන්වූ පසු ඩේමන් හමුවන්නට ගොස් යම් යම් පුරුදු උගන්වන්නට ඔහුට හැකිවනු ඇත. මයිකල් තම සොහොයුරාට ප්‍රේම කළ නිසා, මේ හදිසි සහෝදර එදිරිවාදිකම් ගැන කේන් පුදුමයට පත් විය... නමුත් සෑම දේ වෙනස් වීමට බොහෝ ක්‍රම තිබුණි.

සොහොනින් තමා එලියට පසු තමා තුළ නලියන්නාවූ නපුරුකම මයිකල් දැන ගන්නවාට කේන් කැමති නොවීය. පසුගිය සති කිහිපය තුළ ඔහු දුර සිට මයිකල් දෙස බලා සිටීමින් තම කාලය ගත කළේය. මයිකල් සහ ජගුවාර්ගේ වැඩිමල් පුත්‍රයා වන වොරන්, දැන් මිතුරන් බව ඔහු දැන සිටියේය ... ඔහු සහ මලාකි පෙර සිටියාක් මෙන්.

මාරුවන්නන් ද්‍රෝහීන් වූ අතර මයිකල් හට තවමත් එම කුඩා කාරණය තේරුම් ගැනීමට නොහැකිවී ඇත. මාරුවන්නන් මාර්ගයෙන් ඉවත් කිරීමෙන්, ඔහු මයිකල්ට අවසන් උදව්ව ලබා දෙනු ඇත.

කේන් තම අත ඔසවා ලේ ගල සවි කර තිබූ කරාබුව ස්පර්ශ කරමින් සිතුවේ මේ කරාබුව මගින් මිනිසුන් මැරීමට තමන්ට සෑම විටම සීමාබන්ධන පනවා ඇති බවය. ඔහුගේ ආත්මය සැබවින්ම දුෂ්ට නම්, ලේ ගල තුළ ඇති ඉන්ද්‍රජාලය ඔහු වෙනුවෙන් ක්‍රියා නොකරනු ඇත.. එම සරල කාරණය මලාකි නොසලකා හැරියේ කෙසේදැයි ඔහු නිතරම කල්පනා කළේය ... ඔහුගේ නිර්දෝෂීභාවය පිළිබඳ සාක්ෂි මලාකි ඉදිරිපිට තිබියදීම.

එයට කමක් නැත ... ඔහු නොකළ වරදකට වසර තිහක් සිරගෙදරක ගත කළේය. "ආපසු ගෙවීම අපායක් වනු ඇත මගේ මිත්‍රවරුනි."

*****

"ටෙලි මාර්කටර් කෙනෙක්ද?" චැඩ් ඇසුවේ සිනහව සඟවා ගැනීමට උත්සාහ කරමින් වන අතර ඔහුගේ කුඩා සහෝදරිය දුරකථනය බිත්තියෙන් වැටීමට හැකිවන තරම් තදින් රිසීවරය එයට තැබුවාය. එය මහා ශබ්දයක් සමග බිම වැටුණි.

එන්වී තම සහෝදරයා දෙස හැරී බැලීමට පෙර දුරකථනය ශාලාවට විසිවී යන ලෙස පයින් ගැසුවේ, එය තම පෙම්වතාගේ හිස බව සිතාගනිමිනි. "ඔයාලා ඔක්කොම බල්ලන් ද, නැත්නම් මම පෙම් කරපු අය විතරක්ද?"

උපහාසයෙන් යටත් වීමක් මවා පාමින් චැඩ් ඔහුගේ දෑත් ඉහළට ඔසවා, “මගේ අදහසේ හැටියට ගැහැනු ළමයිනුත් නපුරුයි. දැන් සන්සුන් වෙලා, ලොකු අයියට වෙච්ච දේ කියන්නකෝ.”

එන්වී ඇගේ නළල සීතල බිත්තිය මත තැබුවාය. එක් කඳුළු බිඳුවකටවත් තම ඇසින් පිටවීමට ඉඩදීම ඇය ප්‍රතික්ෂේප කළාය. ඔහු ගැන හඬා වැටෙන්නට තරම් ඇය තුල ට්‍රෙවර්ට කැමැත්තක් නොතිබූ අතර එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් අඩුපාඩු ඇති පිරිමි ළමයින් ගැන ඇය බරපතල ලෙස වෙහෙසට පත් වූවාය. "ජේසන් තමයි මට කතා කරේ, මාත් එක්ක එලියට යන්න පුලුවන්ද අහන්න. එයා හිතලා තියෙන්නේ මම දැන් පෙම්වතෙක් නැතුව තනිකඩව ඉන්නවා කියලා. මොකද එයාට අලුත් නැටුම් සමාජ ශාලාවකදී ට්‍රෙවර් හම්බවෙලා. ට්‍රෙවර් ඉඳලා තියෙන්නේ තවත් ගැහැණු ළමයෙක් එක්ක නට නටයි.”

චැඩ් හිස සැලුවේය. ඔහුගේ සහෝදරිය ට්‍රෙවර්ව ඇයගේ ග්‍රහණයට ගත් පසු ඔහුට ට්‍රෙවර් ගැන අනුකම්පාවක් දැනුනේ නැත. "එහෙනම් අපි ක්ලබ් එකට යමුද?" ඔහු ඇහි බැම උස්කර ඇසුවේ කුමන හේතුවකටවත් එය බාධාවක් කර නොගතයුතු බව අඟවමිනි.

"මට විනාඩි දහයක් දෙන්න ලෑස්ති වෙන්න" එන්වී පැවසුවේ, එම අදහසට ඇයගේත් කැමත්ත ඇතිබව ප්‍රකාශ කරමිනි.

චැඩ් හිස සලා සෝෆාවේ කෙලවරක වාඩි වී ප්‍රවෘත්ති බැලීමට දුරස්ථ පාලකය එබුවත් ඔහු ඒ වෙත අවධානය යොමු නොකළේය. ඇය ට්‍රෙවර් සමඟ පෙම් සබඳතාවක් පැවැත්වීම ඔහුට කිසිසේත් අවශ්‍ය නොවිනි. සෑම දෙනාම තම සැබෑ ස්වරුපය දැනගැනීම වැලැක්වීම සඳහා ඒ පුද්ගලයා ඇමරිකානු, පොහොසත්, උසස් විද්‍යාලයකට ඇතුලත්වීමේ සූදානම් කාලයක් ගතකරන්නෙකු මෙන් ක්‍රියා කළ බව ඔහු දැනසිටි නමුත් එයින් අදහස් කරන්නේ ඔහු සැබවින්ම කවුරුන්ද යන්න ගැන එන්වීට බොරු කීම ගැන, තමා කැමතියි යන්න නොවේ. ට්‍රෙවර් ඇය සමඟ නිදා ගැනීමට යන්නේ නම්, අවම වශයෙන් ඇය සිටින්නේ කුමන ආකාරයේ කෙනෙකු සමගද යන්න පිළිබඳ සත්‍යය ඇය දැන සිටිය යුතුය.

බොරු කිරීමකින් සබඳතාවක් ආරම්භ කිරීම හොඳම ක්‍රමය නොවේ. ඔබ බොරු කීමට යන්නේ නම්, ඔබ මුලින්ම එයට සම්බන්ධ නොවී සිටිය යුතුය. ඔහු ට්‍රෙවර්ව අවසන් වරට දුටු විට සේවා ස්ථානයේ කොනකට ඔහුව ගෙන ගොස් රහස් නිලධාරියාට පැවසුවේ ඔහු කරන දේ ගැන එන්වීට සත්‍යය පවසන ලෙස හෝ නැතහොත් ඇයගෙන් ඈත්ව සිටින ලෙසයි. ට්‍රෙවර් තමාටම හැර, වෙන කිසිවෙකු කියන දෙයකට සවන් නොදී සිටියේ ඔහුගේ වරදක් නිසා නොවේ.

අවන්හලේ තමාගේ රහසිගත වැඩ කිරීමට, ට්‍රේවර් සමහරවිට එන්වීව භාවිතා කර ඇතැයි සිතීම ඔහුගේ කෝපයට හේතු විය. ඇය සමාජ ශාලා ගණනාවක බීම පිලිගන්වන්නියකු වීමත් සමඟම, ට්‍රෙවර්ට එම ස්ථාන මහජනයාට විවෘත කිරීමට පෙර ඇය පසුපසින් යාමට සහ ඒවා වසා දැමීමෙන් පසු බොහෝ වේලාවක් ඒවායේ රැඳී සිටීමට හේතුවක් ලැබුණි. මිනිසුන් නොමැතිව ඒ ස්ථානවල රැඳී සිටීම, ට්‍රෙවර්ට තවත් බොහෝ කරුණු කාරනා රහසිගතව සෙවීමට ඉඩ ලබාදුන් අතර එන්වී සිදුවෙන්නාවූ කිසිවක් තේරුම් නොගත්තාය.

විශේෂ බලකා කණ්ඩායම විසින් ඔහුව ඒ වෙත ඇදගෙන යාමට උත්සාහ කළද, චැඩ් රහස් නියෝජිතයෙකුව සිටීම ප්‍රතික්ෂේප කළේය. ඔහු මෙතෙක් ඔවුන් සමග පැමිණ ඇති ලඟම දෙයනම්, දොරවල් වලට පහරදී මිනිසුන් යටත් කිරීමට කාලය පැමිණි විට ඒ කාර්යය කළහැකි ඔවුන්ගේ ප්‍රියතම පුද්ගලයා ලෙස අමතනු ලැබීමයි. එලෙසම එය ඔහුට ගැලපුණි. ඔහු බොහෝ දුරට, කතාබස් කරමින්, කඩදාසි අවුස්සමින් යමෙකුගේ කුණු ජරාවන් සෙවීමට උත්සාහ කරනවාට වඩා නරක මිනිසෙකුට පයින් ගැසීමට ප්‍රිය කළේය.

අනෙක් අතට, දැන් ඔවුන්ගේ මිත්‍ර ජේසන්, එන්වී හට වඩා හොඳ පෙම්වතෙක් විය හැකිය. ඇය ජේසන් සමඟ පාසැල් ගිය නමුත් ගැටලුව එයම විය. උසස් පාසැලේදීද, නිවසේදීද ජේසන් ඇය සමග කෙතරම් සමීපව ව සිටියාද යත්, එන්වී ඔහුව සහෝදරයෙකු ලෙස සැලකුවාය ... තවත් පිරිමියෙකු ලෙස නොවේ.

ජේසන්, පාසලෙන් ඉවත් වූ පසු කෙලින්ම ඇන්ජලීස් ජාතික වන සංරක්‍ෂක සේවයට බැඳුන අතර එතැන් පටන් එම රැකියාවම කළේය. එන්වී තවමත් ජේසන් සමඟ ඇසුරු කිරීමට ප්‍රිය කළේය. එලෙසම තබතාද, වන සංරක්ෂණ සේවයේ ජේසන්ගේ ඒකකයේම සේවය කල බැවින් ඇයට ඇයගේ හොඳම මිතුරිය වූ තබතා ද නිතර දැක ගැනීමට හැකි විය.

චැඩ් සෝෆාවෙන් නැගිට, එන්වීගේ නිදන කාමරයේ දොරෙන් පිටත සිටගත්තේය. ඔවුන්ගේ දෙමාපියන් කාර් අනතුරකින් මිය ගියපසු පසුගිය වසර හතර තුළ ඔවුන් කාමර සගයන් වී සිටි අතර ඔවුන් දෙදෙනා කදිම පෑහීමක් විය. ඔහු පොලිස් නිලධාරියෙකු වූ අතර ඇය නගරය තුළ සමාජ ශාලා කිහිපයකම බීම පිළිගන්වන සේවය සැලසූවෙකු වුවාය.

ඇය “සැබෑ” රැකියාවක් නොකිරීම ගැන ඔහු කිසිවක් නොකියා සිටීමට එකම හේතුව වූයේ බොහෝ රාත්‍රින්හිදී ඇය ඔහුට වඩා වැඩියෙන් මුදල් ඉපයීමයි. නිවස සඳහා කුලී ගෙවීමේදී එන්වී විසින් සාමාන්‍යයෙන් එය ගෙවන ලද අතර අනෙක් අවශ්‍යතා සියල්ල ඔහු බලා ගත් නිසා එය ඔහුට වඩාත් උචිත තත්වයක් විය.

"මොන සමාජ ශාලාවද?" ඔහු දොරෙන් මෙපිට සිට ඇසුවේය.

"අර අලුත් එක, සඳ රැඟුම කියලා කියන්නේ" එන්වී ඇගේ දිගු ස්ට්‍රෝබෙරි පැහැති කොණ්ඩයේ කොටසක් පෝනිටේල් එකක් සිටිනසේ ගැටගැසූ අතර අනෙක් කොටස කඩා වැටෙන්නට ඉඩ හැරියාය. "අපි එහෙ ඉන්නකොට මට බීම පිළිගන්වන කෙනෙක් විදිහට එතෙන්ටත් ඉල්ලුම් කරන්න පුළුවන්."

චැඩ්, ඉරියව් මගින් තම නොසතුට පෙන්වීය. "නගරයේ අන්තිම හරියේ තියෙන්නේ ඒක නේද?" ඇයගේ පිළිතුර එනතෙක් බලා නොසිට ඔහු නැවත තම කාමරයට ගියේය. මෑතකදී, නගරයේ කෙලවරේ සිදුවෙන්නාවූ දේවල් තරමක් භයානක වී තිබුණි. අතුරුදහන් වීම් වඩාත් කැපී පෙනෙන තර්ජනය වූ අතර සමාජ ශාලාවේ අසලින් මළ සිරුරු කිහිපයක්ද හමුවී තිබුණි.

මේ දක්වා ඔවුන්ට ඒ මරණ සහ සඳ රැඟුම අතර සෘජුවම සම්බන්ධ කළ හැකි කිසිවක් නොතිබුණි, නමුත් මරණයට ගොදුරු වූ සියල්ලෝම එම සමාජ ශාලාවට යන අය වූහ. චැඩ් සහ තවත් බොහෝ දෙනෙකුට සැක සහිත බවක් ඇතිවූයේ එම මරණ සිදුවී ඇති කාල පරාසය අනුවය. ඝාතකයා ලෙස සැකකළ හැකි පුද්ගලයෙක් එම සමාජ ශාලාවේ සැරිසරමින් සිටීද නැද්ද යන්න පිළිබඳව යම් ප්‍රශ්නයක් මතු වී තිබුණි. නවතම ගොඳුරු බවට පත්වූ කිහිප දෙනෙකු අවසන් වරට දැක තිබුනේ සමාජ ශාලාව තුළදීය. පොලිස් නිලධාරියෙකු වශයෙන් ඔහුට එහි කිසියම් සම්බන්ධතාවයක් තිබීමේ සම්භාවිතාව නොසලකා හැර සිටිය නොහැකි විය.

Ваша оценка очень важна

0
Шрифт
Фон

Помогите Вашим друзьям узнать о библиотеке

Скачать книгу

Если нет возможности читать онлайн, скачайте книгу файлом для электронной книжки и читайте офлайн.

fb2.zip txt txt.zip rtf.zip a4.pdf a6.pdf mobi.prc epub ios.epub fb3

Популярные книги автора